Saturday, July 18, 2009

තටු ලැබුණේ ඉගිල්ලෙන්න.........

තටු ලැබුණට පියාඹන්න බැරි කුරුල්ලෝ කොයි තරම් නම් ඉන්නවද? අනිත් කුරුල්ලෝ අත්තටු දිග ඇරලා බොහොම උජාරුවට නිල් අහසේ කෙළවරටමඉගිල්ලිලා යන කොට පියාඹන්න බැරි උන්ට මොනවා හිතෙනවා ඇත්ද? අනේ මගේ කරුමෙ කියලා හිතෙනවා ඇත්ද? අපිට කොයින්ද බූල් බල්ලො කියලා හිතෙනවා ඇත්ද? නැත්තම් අනේ මම මොකට ඉපදුණාද කියලා හිතෙනවා ඇත්ද? පියාඹන්න පුළුවන් වෙලත් තටු අහිමි කුරුල්ලොත් කොච්චර ඉන්නවාද? උන්ට මොනා හිතෙනවා ඇත්ද? ඔය අතර තනි තටුවෙන් පියාඹන්න උත්සාහ කරන උනුත් ඉන්නවානේ. තටුත් ලැබිලා පියාඹන්නත් පුළුවන් වෙලා තටු පොරවගෙනපැත්තකට වෙලා බුම්මන් ඉන්න උනුත් ඉන්නවානේ. අනේ......පියාඹන්න ආසාවේ ඒත් තටු බැඳලා හිර කරලා ඉන්න කුරුල්ලෝ...? උන් මොනවා හිතනවා ඇත්ද? ආසයි මං පියාඹන්න කියලා හිතනවා ඇත්ද? විහිළු නෙමෙයි, උඩ අහසේසුළං කපාගෙන හීයක් වගේ පියඹලා යන කොට,හුළං වැදිලා බෙල්ලේ පිහාටු නැටවෙන කොට,දැනෙන සතුටට පුංචි පහේ සිංදුවකුත් කියන්න තියේනම්...! පීනන්ඩ ඉතින් වතුරට බහින්නම එපැයි. වරදවා හිතන්න එපා.උඩ යන්න හදනවා නෙමෙයි,
තටු ලැබුණේ ඉගිල්ලෙන්නනේ...

Friday, July 17, 2009

කොමඩුද? කොමඩිද?

කොමඩු කියන්නෙ බාල තරුණ මහලු කොයි කවුරුත් ප්‍රියමනාප රසවත් පළතුරක්නෙ. ඒ විතරක්ද දෙවියන්ට පූජා කරන පළතුරු වට්ටියටත් කොමඩු පලුවක් වරදින්නෙ නෑ නේ. කෑමට වගේම බීමටත් ඉතා සුදුසු මේ පලතුරේ අල ගිය මුල ගිය තැන් කියන්න නෙමෙයි මේ හැදුවේ. කොමඩු කනවා, කොමඩු බොනවා, දෙවියන්ටත් පූජා කරනවට අමතරව කොමඩු ගෙඩියෙන් තව තව දේවල් ගොඩක් කරන්න පුලුවන් කියලා මම දැන ගත්තෙ මේ ලඟදී.


අබුද්දස්ස කාලේ හැදුණ ලබු ගෙඩි වගේ දැං දැං මේ කරළියට එන කැකිරි පිපිංඣා අක්කලා නංගිලා ටිකක් ඔය කියන අපූරු වික්‍රමය කොමඩු ගෙඩියෙන් කලා. ඒකත් මේ හරියට අවුරුදු උත්සවේක ගෝනියේ බැහැලා දුවගෙන ගිහින් එල්ලෙන බනිස් කෑවා වගේ. හැබැයි පුදුමේ කියන්නෙ මේ අවුරුදු කාලේ නොවෙන එක.


සුපර් මෑන්,ස්පයිඩර් මෑන්,හී මෑන් වගේ හැඩි දැඩි පිරිමි පරාණ තුනක් තමයි මේ අපූරු කොමඩි කොමඩු නැටුම විනිශ්චය කලේ. යලට මහ‍ට දෙකටම නැති රෙදි පිලි වලින් සැරසුණ මේ අක්කලා නඟාලා කොමඩු ගෙඩිත් දෑතින්ම බදාගෙන කොමඩි නර්තනයක යෙදෙන්න වු‍ණේ පසුබිමෙන් ඇහුණ පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව සිංදුවට අනුව. ඊට පස්සෙ කොමඩු ගෙඩිය කපලා කොමඩි විදිහටම කන්නත් කිව්වා. ඉතින් කෑවා!
හැඩි දැඩි මෑන්ස්ලා තුන්දෙනත්කිරිගහට ඇන්න වගේ සර්ව සාධාරණ විනිශ්චයක් දුන්නා.


ඒකත් නෙමෙයි ඇත්තටම දුක. අපේ ඉතිහාසයේ සාඩම්බර දැවැන්ත නිර්මාණයක් වෙන සීගිරිය හැදුවේ කව්ද කියලා ඇහුවම දුන්න උත්තරේට. ඉස්සරනම් මොන්ටිසෝරි බබත් කියන්න දන්නවා. දැං ඉන්න අවුරුදු විස්සෙ තිහේ මොන්ටිසෝරි බබාලට උගන්නලා තියෙන්නෙ සීගිරිය හැදුවේ පරාක්‍රමබාහු රජතුමා කියලානේ. කැඩිච්ච සිංහලෙන් ඒ නම කියනකොට තමයි හොඳම කොමඩිය එන්නෙ. මේවට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ අප්පා.... තෙල් මදේ වැඩෙන්න වැඩෙන්න මොලේ තුත්තිරි ගහට බහින කාලයක්ද කොහෙද මේක.

අනේ මෙහෙම කොමඩුවක්! නෑ නෑ වැරදුණා.අනේ මෙහෙම කොමඩියක්! සර්ව ලෝක පාලන දෙවියෝම බලා ගනිත්වා....!!!

Monday, April 6, 2009

මිරිඟු මායා

ඉරිතැලුණ දෙනෙත් විවර කොට මඳක්
පැලී ගිය දෙතොල් තෙමන්නට බිඳක්
සොයන්නේ සෙනෙහසින් දිය පොදක්
හිස් බැල්ම සිපගත් ප්‍රාණයෙන් මිදුණු
කාශ්ටක අහස් කුස

කැලුම් මඳ දෙනෙත් වසා
සිහින්වට දුටුවෙමි
ගව් ගනක් ඈත ඇදෙන ඡායාවක්
එහෙත් එය මිරිඟුවකි
නිරුදක කතරක

ඉරි තැලුණ කෙවෙනි
හිස් දියෙන් පිරී
පැලී ගිය දෙතොල්
ලෝදියෙන් පෙඟී
සොයන්නේ සෙනෙහසින්
දිය පොදක්......නැත......
උණුහුමට මිහි තුරුලෙ ඉඩක්....!

Monday, March 16, 2009

වටරවුමක ගමනාන්තය


වටරවුමක ගමන

ඇරඹුවෙමි එක්තරා දිනෙක
එක්තරා තිතෙකින්

සොයමින් සැනසුමක්

සහනයක් සතුටක්

හැරෙන්නට වමට

දකුණට හෝ ඉදිරියට

සැරසුණෙමි වතාවක් දෙවතාවක්

එහෙත් තවම මම

වටරවුමෙහි කැරකෙමින් හිඳිමි

සොයාගත නොහැකිව

වටරවුමක ගමනාන්තය

Saturday, March 7, 2009

සුවඳ මිතුරුකම

සිලි සිලියෙ නැළවෙන
සෙවණ යට මම හිඳිමි
සුවඳ මල් මිටක් මා
සුරත පිරි සුවඳ වුණි
දැල්වුවෙමි පහනක්
ඉන් නැගුන එළියක්
අඳුරු මා හද කුටිය
එළි කළා මොහොතක්
සුවඳ මල් මිට මා
පුද කළා සමිදු පිට
ඉන් නැගුන සුවඳක්
පාළු මා හද කුටිය
සුවඳ වුණි වරුවක්
සුදු වැලි මළුව පිට
පිය මැන්න මොහොතක්
පුද දුන්න මල් මිට
පරව ඇත මලසුනේ

Sunday, February 15, 2009

"වැල" යන පැත්තට මැස්ස ගහන "ටයින්"

වැරැද්දක් වුණත් නොවුණත්
අවශ්‍යද අනවශ්‍යද යන්නවත් නොසිතෙන
කළත් නොකළත් ප්‍රථිඵලයක්
ඇත්තෙත් නැති නැත්තෙත් නැති
වැල යන පැත්තට මැස්ස ගැහීමේ
අලුත් කලාව

ඔබත් මෙහි ගොදුරක්ද?

Tuesday, February 3, 2009

හිත

හිත කියන්නෙ මහ පුදුම තැනක්
හිත එපා කියන දේවල්මයි හිත කරන්න බල කරන්නෙ
හිතට එකඟව වැඩ කරන්න කිව්වට
වෙලාවකට කරන දේවල් හිතටම විශ්වාස නෑ‍
එහෙම කියලා කරන දේවල් හිත හිත ඉන්න ගියාම
හිතටම එපා වෙනවා
හිත සන්සුන් කරගන්න හිතලා වාඩි වුනාම
කවදාවත් නොහි‍තෙන දේවල්නේ හිතෙන්නෙ
අන්තිමට හිතෙන්නෙ
හිත කියන්නෙ මහ පුදුම තැනක් කියලා

Tuesday, January 27, 2009

අතරමං වීම

ජීවිතයට අරමුණක් තියෙන්න ඕන කියන කතාව ඇත්ත

ඒත් අරමුණක් බලාගෙන ගිහිනුත් අතරමං වෙන්නෙ ඇයි කියලනම් හිතාගන්න බෑ

ඇති පදමට ඉගෙන ගත්තා. ඒත් හැබැයි අර කියන මහ ලොකු අරමුණකින් නම් නෙමේ,

අනාගතේ ගැන හිතලා.

දැන් එදාට වඩා අනාගතේ ගැන බය හිතෙනවා.

මේ රෝග ලක්ෂණ normal ද?

Monday, January 26, 2009

"Modified රසවින්දනයයි,මෝඩ පෙට්ටියයි"

අවාසනාවක තරම කොතෙක් ද යත්

ඔබ හා මා

දෙදෙනාම අමු අමුවේම ගොදුරු වී හමාරය

සංකර වූ සමාජයකට

විලි බිය නැත්තවුන්

තොග ගනන් ගෙනවුත් අතහරිද්දී

අවාසනාවක තරම කොතෙක් ද යත්

ඔබ හා මා

දෙදෙනාම දුර්මුඛව බලාහිඳියි

තවදුරටත් බලාහිඳියි....


Thursday, January 22, 2009

‍‍සොම්නසේ ආගමනය සහා සුසුරන්

හිමෙන් වැසී ගිය මිටියාවත මැදින් ඇදී යන්නේ අශිමෝයි අඟුරු දුම්රියයි. සුදෝ සුදු හිමෙන් පිරී ගිය තැන්නත් මිහිදුමෙන් වැසීගත් නිල් වන් කඳු පන්තියත් ස්වභාව ධර්මය නැමැති සිත්තරා විසින් සිතුවම් කළ චමත්කාරජනක සිත්තමකි.

එහි නෙත් කළු බවේ ඌණ පූර්ණය සැළසුවේ කළු දුම් වළා රේඛාවන් මැදින් ඇදී යන දුම් කෝච්චියයි.


අශිමෝයි දුම්රිය නැවතුම් පොළ, ඇගේ සිනහව සහා සුසුම් හඬ නිහඬවම විඳි, නිහඬවම දරා සිටි අපූර්ව නවාතැන් පොළකි.


දුම්රිය නැවතුම් පොළ අසළ සොම්නසේ හා බලාපොරොත්තුවේ සංකේතය වූ සුසුරන් මල විටෙක හිම කුණාටුවට හසුව සිය පෙති හකුළුවා ගනිමින් ද, විටෙක වසන්තයේ හිරු කුමරා අභියස සිය පෙති විදහා සිනාසෙමින් ද, ඇයට ජීවය ලබා දෙන්නේය.


කුණාටුවකට වුවද නොබියව මුහුණ දෙමින් සිය ශක්තිමත් මුල් පොළවට ඇඳ බැඳ තබා ගනිමින් නොසැලී සිටින උණ ගසක් වීම ඇගේ අවිහංසක අභිප්‍රාය විය.
සෙනෙහසට නව අරුත් එක් කළ ඇය ස්ත්‍රීත්වයටත් යොවුන් මාර්‍තත්වයටත් නොවළහා කියන යමක් ඇත.


ඒ අන් කිසිවක් නොව ,


කඳුළු අතරින් සිනාසෙන අයුරුය. ගිමන නිවන්නට සුසුම පවනක් කරගන්නා අයුරුය. වෛරයේ ගිනි දැල් නිවන්නට දයාබරත්වය සිහිල් පැන් පොදක් කර ගන්නා අයුරුය.වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඇය සොම්නසේ හා බලාපොරොත්තුවේ සළකුණ වූ,


සුසුරන් මලයි.


මරණමංචකයට ජීවිතය නැවත කැඳවන්නට දෙව් ලොවින් නොව මිනිසුන් අතරින් උපන් මිනිස් ඳෙවඟනයි. කඳුළු බිඳුවකට ආත්මය ගිලගන්න ඉඩ නොහළ ඈ සතුටේ කැඳවුම් කාරියයි.

The Return Of Happiness............!