Monday, October 25, 2010

දිව්රීම


සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ,
ආයේ ජීවිතේට යාලු වෙන්නේ නෑ


ඉර පෙන්නලා මහ පොළව අල්ලලා,
ඔලුවේ අත ගහලා දිවුරුවත්


දෙයියනේ
මට කොහොමවත් ඉන්න බැරි වුනානේ
යාලු නොවී......


පුදුමයි.... ....

ඉරත් මහ පොළවත් එදා වගේමයි....හැබැයි
මගේ ඔලුව නම් ටිකක් හෙල්ලිලා වගෙයි............

Saturday, September 4, 2010

දෙවියන් මැවූ ඔබ

දෙනුවන් මත් කොට
ගත පණ නල සිඳ
ඔබ තුරුලේ මා හොවාගත් කළ
ලෝකයම අමතකය මට
සිතන්නට මට ඉඩ දී
හීන වල මං අතරමං කොට
වස්සාන සීතලට තුරුලු කරගෙන
මගේ පාලුව මැකූ


දිව්‍යමය වූ ඔබ...............






අනේ මගේ ඇඳ....

Monday, August 16, 2010

හිතන්නෙපා බැ කියලා

අම්මේ මේ පොඩි එකී
කුස්සියට වඩා ඇඳට ඇදුනට
හිතන්නෙපා පරිප්පුවක් කිරි හොද්දක්
පදමට ලුනු ඇඹුල් ඇතුව
ඒදගන්න බැරි එකියක් කියලා


උඩින් පුඩින් වටලප්පන්

ඕඩිඅලප්පන් නැතුවට
ආම් පාම් බුරියානි ඩෙවල් චිකන් නැතුවට
හිතන්නෙපා දවල් බතට
ටේක් එවේ ගෙනෙයි කියලා


කටට රහට කෙසේ වෙතත්

බඩට ගානට සප්පායම් වෙන්න
තිතට කරවල බැදුමක් එක්ක
සැරට පොල් මැල්ලුමක්
හදතෑකි රතු ලූනුත් යහමින් දාලා


                   ඒ මදෑ.................................

Wednesday, August 11, 2010

කියන්න



ඔබේ දෙඅදර තොටුපලේ
සුසමක්ව නතර වෙන්න
තව කොච්චර කල් මම
බලන් ඉන්නද?

Sunday, August 8, 2010

සොයා දෙන්න!

කප්පරක් වටින දෙයක් නැති වෙලාලු...
නමින් එය මනුස්සකම
තියනවාද තම තමන් ලඟ
බලනවාද පොඩ්ඩක් හොඳයි
ඔය මලු අස්සේ, පොකට් අස්සේ පෙට්ටගමේ
සහ අල්මාරියේ එහෙම...
පිළිවෙලකට අස් කලා නම් ඔය කුණු ගොඩවල්
මතු වෙයි නොවැ කොහෙන් නමුත්

හැබෑට මොන පාටද ඕක?
ලොකුද? පොඩිද? සුදුද? කලුද?
අම්මපා දැක්කේ නෑ නොවැ
රෙදි අඳින සමහරක් අහයි.
"අනිච්චාවත සංඛාරා"
නොදත් හෝමෝසේපියන්ලා........

Saturday, July 24, 2010

දැන් මගේ හිත නිදහස්!

රාජකාරිය දේවකාරිය වුනාට ඒකත් වෙලාවකට එපා වෙනවා සමහර වැඩ නිසා. වෘත්තියෙන් ඉංග්‍රීසි පිළිබඳ දේශකවරියක් වීමේ වාසනාව මට පෑදුනාට මොකද ඉංග්‍රීසි භාෂාව ගැන බොහෝ අයගේ තියෙන්නේ ඇල්මැරුණ ආකල්ප නිසාම මට පිස්සු හැදෙන්න ගිය වාර අනන්තයි අප්‍රමාණයි.

වැඩිහිටි බාල තරුණ හැමෝටම වැදගත් භාෂාවක් වූණත් ඉංග්‍රීසියේ අගය දන්න අය ඉන්නේ අතේ ඇඟිලි ගානට. නැතත් වැඩිහිටි පාර්ශවයට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම රටේ නැති ප්‍රශ්න. දරු මල්ලන්ගේ ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න, වෙලාව නැතිකම වගේ භාරදූර ප්‍රශ්න. තරුණ අයට සල්ලි ප්‍රශ්න, වෙලාව නැතිකම සහා කම්මැලිකම පිලිබඳ ප්‍රශ්න. ටිකක් හරි කරදරයක් නැත්තේ පොඩ්ඩන්ගෙන්. ඒත් අම්මලා ප්‍රශ්න දානවා රටේ නැති පංති එක්කරගෙන ගිහින්.

ඉගෙන ගන්න නිසි වයසක් තියෙන්නෙත් ඔය ඉහත හේතු කාරණා ඉගෙනීමට සැබෑ බාධක වෙන නිසාම තමයි. ඒත් අපි කරන්නේ වමට සිග්නල් දාලා දකුණට හරවන එක. ප්‍රථිඵලය භයානක වෙන්න පුළුවන්.

සමාජානුයෝජනයට බය තරුණ අය දුසිම් ගනන් මට මුණ ගැහිලා තියනවා, කතා කරලා තියනවා, ප්‍රශ්නය හැමෝම බයත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා. ගැටලුවට අනුවර්තනය වෙලා. හැබැයි තව අවුරුදු 10ක් ගියත් කට්ටියම එක තැන. දුවන්නේ එක තැනම නිසා. වෙනස් වෙන්න කැමැත්තක් හැමෝටම තිබ්බට ඒක සිතුවිල්ලක් විතරයි. ඒක සිතුවිල්ලක් නොවුණනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාව "සංවර්ධිතයි".

ඕවා මේවා දැනදැනත් පහුගිය දවසක මාත් Business Communication workshop එකක් දාගත්තා කරන්න. කරන්න හිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් වෙලා තිබුණ ඉංග්‍රීසි බසින් නිවැරදිව ලිපි ලේඛන සකස් කිරීම,
සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන ආකාරය, දුරකතන සංවාද හැසිරවීම, CV එකක් හදාගන්න අකාරය වගේ වැදගත් කියලා හිතුපු දේවල් ටිකක්. මං දන්න දේ උපරිමයෙන් බොක්කට වදින්න කියලා දෙනවා කියන ඒකායන අරමුණකුත් තිබ්බා තමයි ඒත් කන්දක් තරම් විලිරුදාව හැදුණට මොකද මී පැටියෙක්වත් වදා ගන්න බැරිවූණා.

එදා මට ටිකක් දුක හිතුනා. ඒ නිසා ආ වෙගෙටම හිතේ හිරවුණ දේවල් පෝස්ට් එකකින් අතඇරලා දැම්මා. දවස් දෙක තුනකට පස්සේ මටම හිතුණා ඒක වෙනස් කරන්න.

කවුරුත් කියෙව්වද මම දන්නේ නෑ. කියෙව්වට කාටවත් තේ‍රුම් ගන්නත් බැරි වෙන්න ඇති. නොකියෙව්වත් අවුලක් නෑ. මං අත්දුටු ‍සිත් තැවුලක් පිට කරගන්න සංකල්පනා මල්ලට දාන්න හිතුණ නිසා දැම්මා. දැන් මගේ හිත නිදහස්. එච්චරයි !

Monday, July 5, 2010

ඔබ නැති දා....

ඔබේ දෑතින් ගැලූ උණුහම
දෙගොඩ තලා ගිය අතීතය මම
කෙසේ අමතක කරන්නද අද
ඔබ නොඑන බව දැන දැනම

ගෙවී ගිය දාසය වසක් කල්
ගෙවී ගිය අරුමය කිමැයි
සිතාගන්නට නොහැකි බව
පසක් කරලනු කෙසේදැයි


අඬන්නට නෙත් වල කෙවෙනි
පිරුණු කඳුලුත් වියළිණි
හෙලූ සුසුම් වැල් දහස් ගණනින්
හිස් වා තලයට එක් විණී


මා සුඹුල් ඇඟිලි දවටන්න
ඔය දෑත් දරඳඩුය, සීතලය
ඔබ වත කමල සිපගන්න
පතන්නද මතු භවය


ඔබේ පිය සෙනෙහස
ලබන්නට තරම් මේ දියණිය
පින් නොකලේ මන්ද
සොයමි මම තවම


අහිතක් නෑ තුන් හිතක
ඔබ අපව තනි කලාට
මතු භවයෙවත් මට
නැලවෙන්න ඉඩ දෙන්න
ඔබ ලඟ......................................!


දයාබර තාත්තේ, ඔබ මේ ජීවිතේ අපිත් එක්ක එකට ඉන්න හිතාගෙන ඇවිත් හදිස්සියෙම අපිව දාලා යන්න ගියා. තාත්තා අපි අතරින් වෙන් වෙලා පහු ගිය මාසෙට අවුරුදු දාසයක් වුණා.කාලය වේගෙන් ගමන් කළත් ඔබේ අඩුව හදේ කොණටම දැනෙනවා අඩුවක් නැතුව. පියෙකුගේ ආදරයේ පැහැය ගැන වැටහීමක් නැති පින් මද දියණියකගේ හිතේ තෙරපෙන අනෝරා දුක පද වැලක අමුණන්න හිතුණා එලෙස.

Sunday, May 30, 2010

බෑ බෑ බෑ......


අනේ මට බෑ....මෙහෙම ඉන්න බෑ....රස්නේ බෑ......
ඒ මදිවට බඩගින්නේ බෑ......නිදිමතේත් බෑ.......

නිකන් ඉන්න බෑ......වැඩක් කරන්නත් බෑ.....ඇවිදින්න බෑ......

ඉඳගෙන ඉන්න බෑ......ඒ කියලා හිටගෙන ඉන්නත් බෑ....

උඩ බලාගෙන ඉන්නත් බෑ.....බොරුවට බිම බලාගෙන ඉන්නත් බෑ......

ඉන්නත් බෑ....යන්නත් බෑ....ඒ වුණාට නොයත් බෑ.....

අනේ මට බෑ අප්පා.....

Wednesday, May 19, 2010

විප්ලව විලාපය


ලෝකය අසමබරයි


දුක දරන්නෝ බහුල කළ සැප විඳින්නෝ අල්පය

වියතක් තරම් වත් නොවන සාධාරණය

කුණු කොල්ලයට විකිණෙන්නේ

වෙන්දේසි කළ අසාධාරණයට ඉහළම ලංසු තබමිනි

විත්තිය වනාහි සමාජය නොව

අදෘශ්‍ය මාන බලවේගයන්ට නතුව ක්‍රියාත්මක වන්නාවූ සමාජ ක්‍රමයයි

ගඟ බොර දියෙනුත් වාසි කූනිස්සන්ටයි

දුක උරුම කුසට දුක අරුම කුහකයා පහර දෙන්නේ නීච ලෙසයි;


මෙම අධම සමාජ ක්‍රමය වෙනස් කළ හැක්කේ කාටද?


හිස් අහසට විදෙන දෙනෝදාහක් දුක් සුසුම්, සාප විලාපයන්

කෙදිනක හෝ කුහකයන්ගේ හිස් මත හෙණ පුපුරක් වී පතිත වේවි

නැඟෙන ගිනි පුළිඟු මත ඉදෙන බත් හැලියෙන්

දෙනෝදාහකගේ කුස නිසැකයෙන්ම පිරේවි

Monday, March 22, 2010

තටු ලැබුණේ ඉගිල්ලෙන්න

මේ කතාව ලියන්න කියලා මට යෝජනා කරපු ෆා ද බ්ලොගී නංගිට ස්තූති කරන්න ඕනි. තටු ලැබුණේ ඉගිල්ලෙන්න කියලා දැනට මාස ගණනාවකට කලින් ම විසින් ලියන ලද බ්ලොග් පෝස්ට් එක සම්බන්ධව සුලු සංශෝධනයක් සිදුවුණා.

ඇත්තටම මට ඉගිල්ලෙන්න තටු තිබුණා. ඒත් මට ඕන විදිහට තටු විහිදලා ඉගිලෙන්න මම බය වුණා. පුරා වසර තුනක්ම බයෙන් තටු පොරවගෙන හිටිය මට දැන් නිදහසේ නිල් අහසේ ඉගිලෙන්න ඉඩ කඩ ලැබිලා තියනවා කියලා කියන්නෙ අහිංසක ආඩම්බරයකින්. නිදහසේ සැබෑ සුවඳ මම දැන් විඳිනවා. තටු විහිදලා හීයක වේගෙන් ඇදිලා යන අනිත් කුරුල්ලො දකින මට ඇතිවෙන්නෙ සැබෑම සතුටක්. මමත් උඹලා වගේමයි...මේ බලාපල්ලා මගේ ලස්සන අත්තටු දිහා.....කෑගහලා කියන්න තරම් හිත නලියන තරම...

ජීවිතේ කියන්නෙ හරියට Mixer පැකට් එකක් වගේ දෙයක්. සැප, දුක, බය, වේදනාව, සිනහව, කදුළ ඔක්කොම එකට කවලම් වෙලා. ඒ හැම හැගීමක්ම රස බලන්න අපි හුරු වෙලා.

කාලය කියන්නෙ ජීවිතේ සුවපත් කරන වෛද්‍යවරයෙක් කියලයි මට හීතෙන්නෙ. මේ ලෝකේ විසඳුම් වලින් පිරිච්ච තැනක් කියලා කුෂාන් ඇස් වන්නිආරච්චි සහෝදරයා නිතරම කියනවා. ඇත්ත තමයි! කාලය කියන්නෙත් විසඳගන්නම බැරි ප්‍රශ්න වලට හොද විසඳුමක් තමයි.

දැන් තමයි මං තටු වල ලස්සන හිත පුරා දකින්නෙ.

Sunday, March 7, 2010

වම් අ‍තේ කතාව

වම් අත දැං දකුණු අතට වඩා ලස්සනයි කියලා ටිකක් ආඩම්බරෙන් තමයි ඉන්නේ. මහ දවාලේ වගේම කට්ට කලුවරේත් වම් අත දිස්නෙ දෙන අරුමයක් තියනවා. මේ මහා සාගරය වගේ ඉමක් කොනක් නැති ජීවිතේ,නොසිතන තැන් වලදී ලස්සන ක්ෂේම භූමි මුණ ගැහෙනවා කියලා කිව්වොත් කව්ද ඒක එහෙම නෙමෙයි කියන්නේ?

වම් අතේ කතාවත් ඔය වගේ එකක්. කාලාන්තරේකට ඉහත්තාවේ ඔහේ වගක් නැතිව හතර වටේටම වැනුනු වම් අත දිහා කව්ද ඇහැක් ඇරලා බැලුවේ? වම් අතෙන් ගත්ත ඵල ප්‍රයෝජන නම් ඉතින් එමටයි. ඒත් ඉතින් කව්ද නියම වටිනාකමක් දුන්නේ? ඔන්න දැං නම් වම් අතට නියම වටිනාකමක් ලැබිලා. ඒකත් එසේ මෙසේ නෙමෙයි, රත්තරං වටිනාකමක්! හැබැයි ඉතින් කියන්න ඕනි මේ රත්තරං වටිනාකම වම් අත ගත්තේ කප්පරක් වෙහෙසිලා කියන එකත්. ඒ වෙනුවෙන් වම් අත නොකාපු කට්ටක් නෑ. අමාරුවෙන් ගත්ත දේ වටිනාකම මිල කරන්න බැරි නිසා වම් අතට බරපතල රාජකාරියක් තියනවා.

ඒ තමයි මහන්සියෙන් ලබාගත්ත දේ පණ වගේ රැක ගන්න එක.


නැවත අප හමුවුණා නැවත වෙන් නොවන්නට

සියලු දෙනාටම සුභ දවසක්!



කුණාටුවකට මැදිව, දැඩි ආයාසයකින් මා පැදවූ නෞවකාව අද නිසංසල ලෙස ලැගුම් ගෙන ඇත චමත්කාරවූ නැවතුම් පොළක.


අදින් පසු එළැඹෙන හැම තත්පරයක්ම අවට වූ සොදුර හිත පුරා විදගනු වස් සදාකාලිකවම ලැගුම ගමි මෙහි.....