Saturday, July 18, 2009

තටු ලැබුණේ ඉගිල්ලෙන්න.........

තටු ලැබුණට පියාඹන්න බැරි කුරුල්ලෝ කොයි තරම් නම් ඉන්නවද? අනිත් කුරුල්ලෝ අත්තටු දිග ඇරලා බොහොම උජාරුවට නිල් අහසේ කෙළවරටමඉගිල්ලිලා යන කොට පියාඹන්න බැරි උන්ට මොනවා හිතෙනවා ඇත්ද? අනේ මගේ කරුමෙ කියලා හිතෙනවා ඇත්ද? අපිට කොයින්ද බූල් බල්ලො කියලා හිතෙනවා ඇත්ද? නැත්තම් අනේ මම මොකට ඉපදුණාද කියලා හිතෙනවා ඇත්ද? පියාඹන්න පුළුවන් වෙලත් තටු අහිමි කුරුල්ලොත් කොච්චර ඉන්නවාද? උන්ට මොනා හිතෙනවා ඇත්ද? ඔය අතර තනි තටුවෙන් පියාඹන්න උත්සාහ කරන උනුත් ඉන්නවානේ. තටුත් ලැබිලා පියාඹන්නත් පුළුවන් වෙලා තටු පොරවගෙනපැත්තකට වෙලා බුම්මන් ඉන්න උනුත් ඉන්නවානේ. අනේ......පියාඹන්න ආසාවේ ඒත් තටු බැඳලා හිර කරලා ඉන්න කුරුල්ලෝ...? උන් මොනවා හිතනවා ඇත්ද? ආසයි මං පියාඹන්න කියලා හිතනවා ඇත්ද? විහිළු නෙමෙයි, උඩ අහසේසුළං කපාගෙන හීයක් වගේ පියඹලා යන කොට,හුළං වැදිලා බෙල්ලේ පිහාටු නැටවෙන කොට,දැනෙන සතුටට පුංචි පහේ සිංදුවකුත් කියන්න තියේනම්...! පීනන්ඩ ඉතින් වතුරට බහින්නම එපැයි. වරදවා හිතන්න එපා.උඩ යන්න හදනවා නෙමෙයි,
තටු ලැබුණේ ඉගිල්ලෙන්නනේ...

Friday, July 17, 2009

කොමඩුද? කොමඩිද?

කොමඩු කියන්නෙ බාල තරුණ මහලු කොයි කවුරුත් ප්‍රියමනාප රසවත් පළතුරක්නෙ. ඒ විතරක්ද දෙවියන්ට පූජා කරන පළතුරු වට්ටියටත් කොමඩු පලුවක් වරදින්නෙ නෑ නේ. කෑමට වගේම බීමටත් ඉතා සුදුසු මේ පලතුරේ අල ගිය මුල ගිය තැන් කියන්න නෙමෙයි මේ හැදුවේ. කොමඩු කනවා, කොමඩු බොනවා, දෙවියන්ටත් පූජා කරනවට අමතරව කොමඩු ගෙඩියෙන් තව තව දේවල් ගොඩක් කරන්න පුලුවන් කියලා මම දැන ගත්තෙ මේ ලඟදී.


අබුද්දස්ස කාලේ හැදුණ ලබු ගෙඩි වගේ දැං දැං මේ කරළියට එන කැකිරි පිපිංඣා අක්කලා නංගිලා ටිකක් ඔය කියන අපූරු වික්‍රමය කොමඩු ගෙඩියෙන් කලා. ඒකත් මේ හරියට අවුරුදු උත්සවේක ගෝනියේ බැහැලා දුවගෙන ගිහින් එල්ලෙන බනිස් කෑවා වගේ. හැබැයි පුදුමේ කියන්නෙ මේ අවුරුදු කාලේ නොවෙන එක.


සුපර් මෑන්,ස්පයිඩර් මෑන්,හී මෑන් වගේ හැඩි දැඩි පිරිමි පරාණ තුනක් තමයි මේ අපූරු කොමඩි කොමඩු නැටුම විනිශ්චය කලේ. යලට මහ‍ට දෙකටම නැති රෙදි පිලි වලින් සැරසුණ මේ අක්කලා නඟාලා කොමඩු ගෙඩිත් දෑතින්ම බදාගෙන කොමඩි නර්තනයක යෙදෙන්න වු‍ණේ පසුබිමෙන් ඇහුණ පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව සිංදුවට අනුව. ඊට පස්සෙ කොමඩු ගෙඩිය කපලා කොමඩි විදිහටම කන්නත් කිව්වා. ඉතින් කෑවා!
හැඩි දැඩි මෑන්ස්ලා තුන්දෙනත්කිරිගහට ඇන්න වගේ සර්ව සාධාරණ විනිශ්චයක් දුන්නා.


ඒකත් නෙමෙයි ඇත්තටම දුක. අපේ ඉතිහාසයේ සාඩම්බර දැවැන්ත නිර්මාණයක් වෙන සීගිරිය හැදුවේ කව්ද කියලා ඇහුවම දුන්න උත්තරේට. ඉස්සරනම් මොන්ටිසෝරි බබත් කියන්න දන්නවා. දැං ඉන්න අවුරුදු විස්සෙ තිහේ මොන්ටිසෝරි බබාලට උගන්නලා තියෙන්නෙ සීගිරිය හැදුවේ පරාක්‍රමබාහු රජතුමා කියලානේ. කැඩිච්ච සිංහලෙන් ඒ නම කියනකොට තමයි හොඳම කොමඩිය එන්නෙ. මේවට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ අප්පා.... තෙල් මදේ වැඩෙන්න වැඩෙන්න මොලේ තුත්තිරි ගහට බහින කාලයක්ද කොහෙද මේක.

අනේ මෙහෙම කොමඩුවක්! නෑ නෑ වැරදුණා.අනේ මෙහෙම කොමඩියක්! සර්ව ලෝක පාලන දෙවියෝම බලා ගනිත්වා....!!!