Friday, July 17, 2009

කොමඩුද? කොමඩිද?

කොමඩු කියන්නෙ බාල තරුණ මහලු කොයි කවුරුත් ප්‍රියමනාප රසවත් පළතුරක්නෙ. ඒ විතරක්ද දෙවියන්ට පූජා කරන පළතුරු වට්ටියටත් කොමඩු පලුවක් වරදින්නෙ නෑ නේ. කෑමට වගේම බීමටත් ඉතා සුදුසු මේ පලතුරේ අල ගිය මුල ගිය තැන් කියන්න නෙමෙයි මේ හැදුවේ. කොමඩු කනවා, කොමඩු බොනවා, දෙවියන්ටත් පූජා කරනවට අමතරව කොමඩු ගෙඩියෙන් තව තව දේවල් ගොඩක් කරන්න පුලුවන් කියලා මම දැන ගත්තෙ මේ ලඟදී.


අබුද්දස්ස කාලේ හැදුණ ලබු ගෙඩි වගේ දැං දැං මේ කරළියට එන කැකිරි පිපිංඣා අක්කලා නංගිලා ටිකක් ඔය කියන අපූරු වික්‍රමය කොමඩු ගෙඩියෙන් කලා. ඒකත් මේ හරියට අවුරුදු උත්සවේක ගෝනියේ බැහැලා දුවගෙන ගිහින් එල්ලෙන බනිස් කෑවා වගේ. හැබැයි පුදුමේ කියන්නෙ මේ අවුරුදු කාලේ නොවෙන එක.


සුපර් මෑන්,ස්පයිඩර් මෑන්,හී මෑන් වගේ හැඩි දැඩි පිරිමි පරාණ තුනක් තමයි මේ අපූරු කොමඩි කොමඩු නැටුම විනිශ්චය කලේ. යලට මහ‍ට දෙකටම නැති රෙදි පිලි වලින් සැරසුණ මේ අක්කලා නඟාලා කොමඩු ගෙඩිත් දෑතින්ම බදාගෙන කොමඩි නර්තනයක යෙදෙන්න වු‍ණේ පසුබිමෙන් ඇහුණ පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව සිංදුවට අනුව. ඊට පස්සෙ කොමඩු ගෙඩිය කපලා කොමඩි විදිහටම කන්නත් කිව්වා. ඉතින් කෑවා!
හැඩි දැඩි මෑන්ස්ලා තුන්දෙනත්කිරිගහට ඇන්න වගේ සර්ව සාධාරණ විනිශ්චයක් දුන්නා.


ඒකත් නෙමෙයි ඇත්තටම දුක. අපේ ඉතිහාසයේ සාඩම්බර දැවැන්ත නිර්මාණයක් වෙන සීගිරිය හැදුවේ කව්ද කියලා ඇහුවම දුන්න උත්තරේට. ඉස්සරනම් මොන්ටිසෝරි බබත් කියන්න දන්නවා. දැං ඉන්න අවුරුදු විස්සෙ තිහේ මොන්ටිසෝරි බබාලට උගන්නලා තියෙන්නෙ සීගිරිය හැදුවේ පරාක්‍රමබාහු රජතුමා කියලානේ. කැඩිච්ච සිංහලෙන් ඒ නම කියනකොට තමයි හොඳම කොමඩිය එන්නෙ. මේවට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ අප්පා.... තෙල් මදේ වැඩෙන්න වැඩෙන්න මොලේ තුත්තිරි ගහට බහින කාලයක්ද කොහෙද මේක.

අනේ මෙහෙම කොමඩුවක්! නෑ නෑ වැරදුණා.අනේ මෙහෙම කොමඩියක්! සර්ව ලෝක පාලන දෙවියෝම බලා ගනිත්වා....!!!

8 comments:

malee_msg said...

‍ඔය කියන්නේ මොකක් ගැනද කියලා මට හිතා ගන්න පුළුවන්.. ඔව්වා නොබලා ඉන්න තරමට ඇගට ගුණයි නැත්තං ඔවා බලලා ලේ කෝප වුනාම නැති ලෙඩ හැදෙන්නේ අපිටමයි!

Anonymous said...

අකකේ මටනම් ඔවා බලන උන් දැකලා හිනා යනවා අනේ මෙහෙම එවුන් ටිකක් කියලා

ආගන්තුකයා | Stranger said...

මට හිතා ගන්න බැරියෝ.... උදව් කරපල්ලා...

Anju said...

ඇත්ත ඇත්ත..ඔව්වා නොබලන එක ඔළුවට හොඳයි..

Deeps said...

මේ මොකක්ද ඔය වැඩසටහන??

Naදී said...

ඔයගොල්ලො කියන කතා ඇත්ත.දවසේ ඒකාකාරි බවෙන් මිදෙන්න තමයි මම ඔය පෙට්ටිය දාන්නේ.කොළඹට කිරි අපට කැකිරි නිසා අපට බලන්න වෙලා තියෙන්නෙ ඕවා තමයි.අපේ කැමැත්තට කිසි ඉඩක් නෑ.ඒ දේවල් වලින් අපි යන්නෙ කොයි පැත්තටද කියලා හොඳට පේනවා. තරහා නම් යන්නෙ නෑ ඒත් අපේම වරිගේ නේද මේ නන්නත්තාර වෙන්නෙ කියලා දුක හිතෙනවා.හරි වැරද්ද මොකක් වුණත් තමන්ගේ වැඩක් බලාගන්න එක තමයි වඩා ප්‍රායෝගික.

Dasun Wanaguru said...

ආ මේ අර ????ස්ටාර් එක......
අනේ කාලේ වනේ වාසේ

වන්නි said...

උඹ දන්නවානේ මට ඕක පේන්න බෑ කියලා... ඊයේ පෙරේදා දාපු හයිලයිට්ස් වලටයි මම දැක්කේ ඕක. ආතල් එකක් නැත්තෙමත් නෑ... හැබැයි කිසි සෞන්දර්යයක් නෑ... ස්වර්ණවාහිනියේ හැම රියලිටි එකක්ම එහෙමනේ... හැබැයි ම‍ට එක දෙයක් හිතුනා... මට ඒ කොමඩු ගෙඩිය වෙන්න තිබුනනම් කියලා ;)